Friday, November 18, 2011

සුදු කොඩි නඩුවේ තීන්දුව අද

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගනු ලැබූ සුදු කොඩි නඩුවේ තීන්දුව අද (18 දා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත අද (18 දා) දින සරත් ෆොන්සේකා මහතාට පක්‍ෂ විපක්‍ෂ පිරිස්‌ අතර අධිකරණ සංකීර්ණය අවට විරෝධතා ව්‍යාපාරයක්‌ ඇති වුවහොත් එය විසුරුවා හැරීමට කෙසෙල්වත්ත පොලිසිය ඊයේ (17 දා) කළ ඉල්ලීමක්‌ කෙරෙහි සැලකිලිමත් වූ කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා එහිදී
පොලිසියට ඇති බලතල අනුව ක්‍රියා කළහැකි බවට අවධාරණය කළේය.

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා විත්තිකරු කරමින් නීතිපතිවරයා විසින් ගොනු කරන ලද චෝදනා තුනක්‌ පිළිබඳව වසරකට අධික කාලයක්‌ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්‌ හමුවේ පැවැති සුදු කොඩි නඩු විභාගයේදී පැමිණිල්ලේ හා විත්තියේ සාක්‍ෂි කැඳවීම් සහ දෙපාර්ශ්වයේ නීතිඥ දේශන ද පැවැති අතර විත්තිකාර සරත් ෆොන්සේකා මහතා විත්ති කූඩුවේ සිට විත්ති වාචිකයක්‌ ද ලබාදුන්නේය.

මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේදී සුදු කොඩි රැගෙන යටත්වීමට පැමිණි කොටි නායකයන්ට වෙඩි තබා මරා දමන ලෙසට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතාට පවසා ඇතැයි තමන්ට දැන ගන්නට ලැබුණේ යෑයි සන්ඩේ ලීඩර් පුවත්පතට ප්‍රකාශ කිරීම තුළින් මහජන කැළඹීමක්‌ ඇතිවිය හැකි ප්‍රකාශ කිරීම හා ජාතිවාදී හැඟීම් ඇවිස්‌සෙන කරුණක්‌ මතු කිරීම හා ලංකාණ්‌ඩුවට විරුද්ධව මහජන විරෝධතාවක්‌ ඇති කිරීමට තැත් කිරීම යන චෝදනා යටතේ හදිසි අවස්‌ථා නියෝග උල්ලංඝනය කිරීම හා දණ්‌ඩනීති සංග්‍රහය මගින් විත්තිකාර සරත් ෆොන්සේකා මහතාට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි. 

මෙම නඩු විභාගය විශේෂ අධිකරණ කටයුත්තක්‌ ලෙස සලකමින් විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්‌ හමුවේ විභාග කළ යුතු බවට අගවිනිසුරුවරයා කරනු ලැබූ නියෝගයක්‌ පරිදි මහාධිකරණ විනිසුරුවරුන් වන දීපාලි විඡේසුන්දර (සභාපති විනිසුරුවරිය), ඩබ්ලිව්. එම්. ටී. බී. වරාවැව සහ ඉසෙඩ් රාශින් යන මහත්ම මහත්මීන් හමුවේ නඩු විභාගයට ගැනිණි.

සිද්ධියට අදාළව පොලිස්‌පතිවරයා කළ නියෝගයකට අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන කටයුතු සිදු කර අවස්‌ථා කීපයකදී කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව සිද්ධියට අදාළව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා විත්තිකරු කරමින් නීතිපතිවරයා විසින් ඔහුට අධි චෝදනා ගොනු කරනු ලැබුවේය.

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් 2010 ජුලි මස 21 දා අධි චෝදනා ගොනු කළ අතර එම මස 29 දා පළමුවරට කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව කැඳවිණි.

විත්තිකාර සරත් ෆොන්සේකා මහතාට ගොනු කොට තිබූ චෝදනාවන්ට ඔහු නිවැරැදිකරු බවට ප්‍රකාශ කිරීම මත නඩුව විභාගයට ගැනීමට තීරණය කළ විනිසුරු මඩුල්ල පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙසට නියෝග කළේය.

2010 සැප්තැම්බර් 27 දා ආරම්භ කරනු ලැබූ නඩු විභාගයන්ට පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂිකරුවන් 15 දෙනකුද විත්තිය වෙනුවෙන් සාක්‍ෂිකරුවන් 08 දෙනකු ද කැඳවනු ලැබූ අතර විත්තිකාර සරත් ෆොන්සේකා මහතා දින 06 ක්‌ පුරා විත්ති කූඩුවේ සිට විත්තිවාචිකයන් කළේය. 

අනතුරුව නඩු විභාගයට අදාළව පැමිණිල්ලේ හා විත්තියේ නීතිඥ දේශන කැඳවනු ලැබූ අතර දින 57 ක්‌ පුරා පැවැති නඩු විභාගය ඔක්‌තෝබර් 18 අවසන් කළ විනිසුරු මඩුල්ල එයින් දින 30 කට පසුව අද (18 දා) දින තීන්දුව ප්‍රකාශයට පත් කරන බවට දැනුම් දුන්නේය.


No comments:

Post a Comment